User:Nethanga

From Wikimedia Commons, the free media repository
Jump to navigation Jump to search

දේශීය වෙදකම

[edit]

අපේ රටට ආවේණික දේශීය වෛද්‍ය ක්‍රමයක් තිබෙන බව අවිවාදිතය. එය මේ රටේ සම්ප්‍රදායිකව මුල් බැස ගත් දැනුම් පද්ධතියක් මෙන්ම අපේ මුතුන්මිත්තන් ගේ උරුමයෙන් පැවත එන නිසා පාරම්පරික වෙදකම යනුවෙන් ද හැඳින්වේ. හෙළ වෙදකම යනු ආයුර්වේදය නො වේ.

අපේ දේශීය දැනුමේ විශිෂ්ටතම ලක්ෂණය වන්නේ ද සමානුපාතී, සමානුසාරී හා සමානුගාමී දැනුම් හා එක්ව ඉදිරියට යාමේ ප්‍රගතිශීලී බවය. අප රට වෙදකමේ ඉතිහාසය අන් කිසිදු රටකට සම කළ නො හැකි තරම් ය. ලෝකයේ ප‍්‍රථම අංග සම්පූර්ණ රෝහල වන මිහින්තලේ රෝහල, ව්‍යුහයෙන් වත්මන් නවීන රෝහලකට සමාන ය. බාහිර ප‍්‍රතිකාර අංගනයක්, රෝගීන් සඳහා තනි කාමර මෙන් ම බෙහෙත් ද්‍රව්‍ය සකස් කරන ස්ථාන ද ගබඩා ද රෝහලට අඩංගු විය. බෙහෙත් ඔරු සහ ශල්‍ය උපකරණ පෙන්වන්නේ එවකට පවා දේශීය වෙදකම ලබා තිබු දියුණුවයි. මහාවංශයට අනුව ව්‍යවහාර වර්ෂ පූර්ව 4 වන සියවසෙහි රජ කළ පණ්ඩුකාභය රජතුමා රටේ විවිධ ස්ථානවල රෝගීන්ට නවාතැන් ගෙන ප‍්‍රතිකාර ලබා ගත හැකි ‘සිවිකසොත්ති ශාලා’ ඇති කළේ ය.

‘සාරාර්ථ සංග‍්‍රහය’ නමැති සංස්කෘත කෘතිය බුද්ධදාස රජතුමා විසින් රචිත වෛද්‍ය ග‍්‍රන්ථයකි. මෙම කෘතිය සඳහා ඉන්දීය ආයුර්වේද ග‍්‍රන්ථවල උපකාරය ලැබී තිබුණ ද මෙරටට පමණක් ආවේණික වෛද්‍ය ක‍්‍රම ද එයට ඇතුළත් ය. එහි අන්තර්ගතය විචිත‍්‍ර ය. ඖෂධ සැකසීම, රෝග නිශ්චය කිරීම, ශල්‍ය උපකරණ සහ ශල්‍ය ක‍්‍රම, ඇස් කන් නාසා ආබාධ, ඇස් රෝග, ක්ෂය රෝගය, උන්මාදය, අපස්මාරය, දරු ප‍්‍රසූතිය වැනි අති විශාල විෂය සම්භාරයක් මෙයින් ආවරණය වේ.

එහෙත් අද බොහෝ දෙනා හුවා දක්වන ආයුර්වේද හා දේශීය වෛද්‍ය භේදය පැන නගින්නේ මෑත කාලයේ ඇති වුණු අනවබෝධය, හුදකලා ගැටුම් හා මතවාද යම් පිරිසකගේ දේශපාලනික අභිලාෂයන් හරහා “වෙනස් කොට සැලකීමේ” (discrimination) තත්වයක් දක්වා හුවා දැක්වීම නිසාය. ඒ අනුව ආයතනික අධ්‍යාපනය ලැබූ උපාධිධාරීන් විසින් පාරම්පරිකව වෙදකම උගත් වෙදමහතුන් නොසලකාහැරීම හෝ පහත්කොට සැලකීම සිදුවේ යැයි සමාජ මතයක් නිර්මාණය කිරීමට සමහර පිරිසක් උත්සාහ ගනිමින් සිටියි.

උපාධිධාරී වෛද්‍යවරුන් යම් පිරිසක් පාරම්පරික වෙදකම හෙළා දකින හෝ එම වෛද්‍යවරුන් හට යම් ආකරයක අවමානයක් සිදු කරන අවස්ථා තිබෙන්නට ඉඩ ඇත. මේ රටේ අනාදිමත් කාලයක සිට පැවත එන දේශීය වෛද්‍ය ක්‍රමයට ගරු බුහුමන් කිරීම උපාධිධාරී වෛද්‍යවරුන් ගේ යුතුකමක් හා වගකීමක් ද වේ. ඊට හේතුව වන්නේ අද පවතින විශ්වවිද්‍යාල ආයුර්වේද අධ්‍යාපනයට මුල් ගල් තැබීමේ ලා මේ රටේ අරගල කළේ පාරම්පරික දේශීය වෛද්‍යවරුන් බව කිසිසේත් අමතක නොකළ යුතු සත්‍යයක් වන නිසාය.

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බව මගේ ද පෞද්ගලික පිළිගැනීමයි. එසේම මා සිතන පරිදි මේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය සම්බන්ධයෙන් වන රාජ්‍ය අනුග්‍රහය හා අවධානය ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා ඉතා විධිමත් හා ක්‍රමානුකූල වැඩසටහනක් ඉදිරිපත් කිරීමේ වගකීමෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවට ගැලවිය හැකි නොවේ. එසේම එම වෛද්‍ය ක්‍රමය සංවර්ධනය කිරීමට අවශ්‍ය පර්යේෂණ, ශාස්ත්‍රීය හා අධ්‍යාපන ප්‍රයාමයක නියැලීම මේ රටේ විද්වත් ප්‍රජාවගේ ද යුතුකම විය යුතුය. එසේ සකසනු ලබන වැඩපිළිවෙළක දී දේශීය වෛද්‍යවරුන් ගේ දායකත්වය නොමසුරුව ලැබෙන බව ද මගේ ඒකායන විශ්වාසය ද වේ. දේශපාලනික අභිලාෂයන් පෙරදැරිව මේ මොහොතේ දේශීය වෛද්‍ය ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා හුදු ජනප්‍රියත්වය වෙනුවෙන් කතා කරනවා හැර යම් හරවත් වැඩපිළිවෙළකට නායකත්වය දීමේ පරමාර්ථය ඇතිව ක්‍රියා නොකරයි. නිසි නායකත්වයක් හා නිවැරදි මගපෙන්වීමක් සහිත විධිමත් වැඩපිළිවෙළක් හා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම බව අවධාරණය කරමි.

නවීන වෛද්‍ය විද්‍යාව විස්මිත සොයාගැනීම් කරන බව සැබෑවකි. රෝගියාගේ නාඩි අල්ලා හෙළ වෙදැදුරෙකු විසින් කරන ලද හෙළිදරව්ව සිදු කිරීමට අද එක්ස් කිරණ, අල්ට‍්‍රා සවුන්ඞ්, එම්. ආර්. අයි. ස්කෑන් (MRI) වැනි උපකරණ යොදා ගැනේ. අප එ් ගැන අසතුටු විය යුතු නැත. නවීන ප‍්‍රතිකාර සහ විකල්ප (දේශීය) ප‍්‍රතිකාර අතර වෙනස නම්, දේශීය ප‍්‍රතිකාර අංග සම්පූර්ණ එ්වා (holistic) වීම ය. නවීන විද්‍යාත්මක ප‍්‍රතිකාර බොහෝ විට භාවිත කරන්නේ ක‍්‍රියාකාරී රසායනිකය පමණි. මෙය උපමාවකින් කියනවා නම් පැරසිටමෝල් පෙත්තක් බීම සහ පස් පංගුව කසායක් බීම හා බඳු ය. පැරසිටමෝල්වල ඇත්තේ එක් ක‍්‍රියාකාරී රසායනිකයක් පමණි. පමණ ඉක්මවා ගතහොත් මාරාන්තික විය හැක. එහෙත් පස් පංගුවේ අඩංගු ඖෂධීය ගුණය එක් ක‍්‍රියාකාරී රසායනිකයක් නො වේ. ඖෂධ පැළෑටි කිහිපයක සංයෝගය තුළින් ක‍්‍රියාත්මක වන ස්වභාවයකි. කිසිදු මාරාන්තික අනතුරක් නැත. නවීන දැනුම ඉවත දමා දේශීය දැනුම යළි බාර ගත යුතු යැයි මෙයින් අදහස් නො වේ. මේ දැනුම් සම්භාර දෙකට ම ඉඩ කඩ තිබිය යුතු ය. එක් දැනුම් සම්භාරයක් තම වාණිජ පරමාර්ථ ඉටු කරගන්නට බලා සිටින්නන්ට ගිල ගැනීමට ඉඩ දිය යුතු නැත.

ඇස් ඇර බලන්නට කාලය එළඹ ඇත. වෙදකම වාණිජකරණයට යටත්වන තෙක් අප බලා සිටිනවා ද? දීර්ඝ කාලයක් තිස්සේ එක් කරගත් දැනුම් සහ අත්දැකීම් සම්භාරය සංරක්ෂණය කොට සංවර්ධනය කොට මතු පරපුරට දායක කිරීමේ වැඩපිළිවෙළකට යාමට මේ සුදුසු කාලය නො වේ ද?